අඹ අතු අස්සෙන් හීන් මීදුමක් පහත් කරන් ඉර එළිය ඇවිත් වැලි පොලොවෙ කීද්දෙන්න බලං හිටපු පුංචි පුංචි බිම්මල් පොහොට්ටුවල මඩ පිහදාලා කිරි සුදු පාටින් පාට ගාල නැගිට්ටවල තිව්වා. ඒ දිහා බලන් හිටපු චූටි බටිත්තෝ අඹ ගහේ අතු උඩට වෙලා"චීප්" "චීප්" කිය කිය නිකිණිව ඇහැරවන්න හදනවා.පිච්චමල් පොකුරු අතරේ මකුණු දැල් වලට පිනිවැටිලා මුතු කැට වගේ දිලිසෙනවා.වතුසුද්ද ගහම සුදු පාටට හිනා වෙවී බලන් ඉන්නේ සුදු ගවුම ඇඳගෙන නිකිණි ඉස්කෝලෙ යන්න එළියට බහිනකල්,
"ඉස්කෝලෙ නොගිහින් අදත් අඹ අතු පාහින්නද කල්පනාව? කොල්ලො බිම!.. මේකිනේ ගස් නගිනවා කියන්නේ..."
කහට පිපිච්ච මේස් බැනියම යට කරලා කොටු කොටු සරම ඇඳගෙන කළු පටිය ඉනේ බඳින ගමන් මාමා කාමරේ දොර ළඟට ආවා. නිකිණි,මාම කීව දේ නෑහුනා වගේ ජනේලෙන් එහා මකුණු දැල් වලට වැටිලා තිබ්බේ පිනි කැට ගණන් කරා.
"හිටපංකෝ බොට මං..."
කාමරයේ දොර ළඟින් මෑත වෙච්ච ධර්මසිරි, නිකිණි දිහා රවල බලලා එලියට බැහැලා කෝපි පඳුරෙන් ඇඟිල්ලක් විතර මහත කෝටුවක් කඩා ගත්තා.
"ඉස්කෝලේ නොගිහින් කොහොමද, උඹ මට පොරොන්දු වුනානේ ඉගෙන ගෙන ඉස්කෝලෙ නෝනා කෙනෙක් වෙනව කියල?"
සිරියාවති, ධර්මසිරි කෝටුව කඩනවා දැකලා ඉක්මන් අඩියෙන් නිකිණි ලඟට ආවා. නිකිණි ආච්චිගෙ උරේ එල්ලිලා ඉකි බිඳ බිඳ අඬන්න පටන් ගත්තා. සිරියාවතීගේ හිත අනුකම්පාවෙන් පිරුනා. ඈට එක එකපාරටම ඇගේ බාලම දුව මතක් උනා. තිබ්බ කාලකන්නි කමට මේ කෙල්ලව පොඩි වයසෙදිම දාලා වෙන මිනිහෙක් එක්ක ගියානේ. අප්පත් ගෙපළටම යට වෙලා මැරුණා. සිරියාවති නිකිණිගෙ ඔලුව එක අතකින් අත ගගා ගේ ඇතුලට එක්කන් ගියා.
"හරි කෝලමක් උනානේ මේක! මේකිව නරක් කරන්නේ අම්මම තමයි. තෝ අද ඉස්කෝලෙ යන්නම ඕන..."
ධර්මසිරි නිකිණිගෙ අතින් අල්ලල ඇද්දා. සිරියාවතිය ඇවිත් ඔහුගේ අත ගස්සලා දැම්ම.
"උඹ ගිහින් උඹේ වැඩක් බලාගනින්"
සිරියාවතියගේ විරෝධය හමුවේ ධර්මසිරි පසුබැස්සා.
"එහෙනම් ආච්චිල මිනිබිරීලා නැළවියල්ලා. ආයේ ඕවට මේවට ඉස්කෝලෙන් එන පණිවිඩ වලට මම නෙමේ ඔය හතර මායිමේ පස් පාගන්නේ"
කියලා ධර්මසිරි ගේ දොරකඩින් වෙල් ලියද්දට වැටිච්ච ගල් පඩි දෙක බැහැලා අඩියට දෙකට ඉක්මන් කරලා යන්න ගියා. නිකිණි හෙමින් හෙමින් පොල් කට්ටක් රත් කරලා ආච්චි මැදලා දීපු දිරන්න ඔන්න මෙන්න තිබ්බ සුදු ගවුම ඇඳගෙන සිරියාවතී කිතුල් හකුරු කෑල්ලක් එක්ක හදල දීපු කහට කෝප්පෙත් බිව්වා. ඊට පස්සේ ආච්චිවත් ඉස්සර කරගෙන ඉස්කෝලෙ පැත්තට ගෑටුවා.
ගිය සිකුරාදා වෙච්ච දේවල් ඔක්කොම එකින් එකට පිළිවෙලකට වගේ නිකිණිගෙ හිතට ආව. නොයා ඉන්න බැරිකමට ඉස්කෝලේ යන්න ආවට ඒව මතක් වෙනකොට නිකිණිට හිතෙන්නෙම ආපස්සට හැරෙන්න.
"ඉස්කෝලෙට යන්නේ, මස් කඩේට නෙමෙයි. ඉක්මන් කරපන් මැණිකේ.. උඹේ හොඳට නේ මං කියන්නේ.."
සිරියාවතී පහත් වෙලා නිකිණිගේ මූණ ඉම්බා. ඒ වෙනකොටත් දුර ගමනක් යන්න හිත ඒක සමවැදිලා හිටපු නිකිණි දවස් දෙකක් ආපස්සට ගියා.
ගිය සිකුරාදා ක්‍රීඩා සර් නිවාඩු ගිහින්. කොල්ලෝ ටික බෝලයක් එක්ක ගිනි අව්වෙ කර වෙවී දූවිලි දාඩිය පෙරාගෙන සෙල්ලම් කරාට, කෙල්ලො ටික පිට්ටනියේ බැම්ම දිගේ වාඩිවෙලා ඕප දූප කතා ගොන්නක. ඒ අතරේ නිකිණි බැම්ම කොනක ඉඳන් පිට්ටනිය අයිනේ සීනි අඹ ගහේ උඩටම ගිහින්. හිත එතන තියන් කඳට නිකං ඉන්න බැරුවට වගේ නිකිණි හෙමීට හෙමිහිට අඹ ගහ ගාවට ආව. කැලේට හැදිල තිබ්බ අඹ ගහට අයිතිකාරයෝ හිටියේ නෑ. ඒ වාසියෙන් ප්‍රයෝජන ගන්න හිතන් නිකිණි, අඹ පොකුරක්ම තිබ්බ අත්ත උඩටම ආවා. ඒ අතරේ කෙල්ලෝ ටික ඕපදූප ඔක්කොම බැම්ම උඩ තියලා අඹ ගහ යටට ඇවිත්.
"අර උඩම තියෙන පැහිච්ච එක මට"
"නිකිණි අර අඹේ මට"
"අර ඊට උඩ තියෙන එක මට"
කිය කිය කෙල්ලො ටික තවත් නිකිණීව උසිගැන්නුවා. ගහ උඩ ඉඳන් හොඳම අඹ ටික පහලට ආවට සෝම ටීචර් අඩියට දෙකට පිටිපස්සෙන් ගහ ළඟට ම එනකල් කවුරුවත්ම දැක්කේ නෑ..
"නිකිණී,..මොකක්ද ඔය කරන්නේ..?? "
බය වෙච්ච පාරට බිමට බැහැගන්නත් බැරුව ගහේ අත්ත උඩම අසරණ වෙච්ච නිකිණිට වචන පිටවුනෙත් නෑ...
"බහිනවා බිමට! මොකක්ද තවත් බලන් ඉන්නේ?.."
පොඩි දේටත් කුපිත වෙලා වියරු වැටෙන සහනුකම්පාවක් ඇත්තෙම නැති ගුරුවරයෙක් විදියට සෝම ටීචර් ඉස්කෝලෙම ප්‍රසිද්ධයි. කැරලි කොන්ඩෙ එකතු කරලා ගුලිය ගහලා ඔසරිය ඇඳලා හිටපු ටීචර්ගේ මූණ තරහට රතූ වෙලා තිබ්බ. ගිනි ගහන අව්වේ බෝල ගහපු කොල්ලෝ ටිකත්, "මේ මොන වින්නැහියක්ද" කියන්න වගේ අඹ ගහ යටට වට වෙලා හිටියා.
ඒ අතරේ වෙව්ල වෙවිලා නිකිණි ගහ දිගේ රූටලා බිමට බැස්සා. සුදු ගවුම පුරාම කිරි ගෑවිලා. අඹත් ගොළු වෙලා. පිච්චචිච්ච කැවුම් ගෙඩියක් තරමට නිකිණිගෙ මූණත් කළු වෙලා. අබ අහුරක් දැම්මත් පුරන තරමට රත්වෙලා තිබ්බ මූණත් අරගෙන සෝම ටීචර් ළමයිව පන්තියට එලෙව්වා.
අන්තිම බෙල් එකට කලින් විදුහල්පති කාර්යාලයට එන්න කියලා නිකිණිට පණිවිඩයක් ආවා. පන්තියෙම මීයට පිම්බා වගේ. හැමෝම බය වෙලා.
"නිකිණි!, සෝම ටීචර් නම කිව්වට පස්සේ පොත් ටිකත් අරන් කාර්යාලයට යනව..."
නිකිණි පරක්කු වෙවී පොත් එකතු කරගෙන විදුහල්පති කාමරේ දිහාවට ගැටුවා. ඈ පියවරෙන් පියවර ගමන් කලේ පෝරකයට යනවා වගේ. කෝට්ට එහාට මෙහාට වන වන සෝම ටීචර් පිටිපස්සෙන් ආවා. පන්තිවල දැල්වල එල්ලිලා ළමයි නිකිණි දිහා බලන් ඉන්නේ අපරාධකාරයෙක් දිහා බලන විදිහට. මහා සියඹලා ගහත් ශෝකානුකූලව පුංචි කොළ වැස්සක්ම හැලුවා. ඒ හුළං පාරට නිකිණිගෙ කොන්ඩෙ වගේම හිතත් තව තවත් අවුල් කරා.
ලොකු සර්ගෙ කාමරේට ආවා. ලොකු සර් මේසේ උඩ තිබිච්ච කණ්ණාඩි දෙක අරන් දාගත්තා. නිකිණිගේ කකුල් වල ගල් බැඳලා වගේ. ඉස්සරහට යැවෙන්නෙත් නෑ. සෝම ටීචර් කෝට්ට පිටට තියලා ඉස්සරහට තල්ලු කරා. නිකිණි හොඳටම වෙව්ලනවා. ඒත් කොහොම හරි වැටෙන්නේ නැතුව ඉන්න ඈ හිත තද කරගත්තා.
"තමුන්ද අඹ ගහ උඩට නැගලා අඹ කැඩුවේ..?"
ලොකු සර් ප්‍රශ්න කරන්න පටන් ගත්තා.
"නෑ..."
නිකිණි එහෙම කියලා බිම බලා ගත්තා.
"තමුන් ඇත්තද කියන්නේ ඔය?"
ලොකු සර් සෝමා ටීච දිහාවට හැරුණා.
"ඔව් සර්, මෙයා තමයි අඹ ගහ උඩ හිටියේ, මේ තාම අඹ කිරි ගවුමේ.."
"ඔලුව උස්සනව!"
ලොකු සර් ගිගිරුවා.
"මං ගහේ නැග්ගේ නෑ.."
කියලා නිකිණි කෑ ගහලා ඇඬුවා.
ලොකු සරුයි සෝම ටීචයි මූණට මූණ බලා ගත්තා.
"හරි, දැන් තමුන්ට ගෙදර යන්න පුළුවන්. සඳුදාට අම්ම තාත්ත එක්ක එන්න ඕන."
සන්සුන් විදියට ලොකු සර් කිව්වා. නිකිණි ඒක නෑහුන විදියට තවත් එතන ගල්වෙලා හිටියා.
"ඇහුනෙ නැද්ද, මෙතනින් යනව දැන්. සඳුදාට අම්මයි තාත්තයි නැතුව තමුන්ව ඉස්කෝලෙට බාරගන්නේ නෑ.."
නිකිණි පිච්චිලා ගියා. ඇස් ඉවුරු බිඳගෙන කඳුළු දෝර ගියා. හුස්මක් තනියම හිත අස්සට හිර වුණා.
සිරියාවතීගේ අතේ එල්ලිලා ආපු නිකිණි කල්පනාවෙන් ඇහැරුනේ ඉස්කෝලේ ගේට්ටුව ළඟදි.
"හ්ම්.... දැන් ඔය කඳුළු පිහිදා ගන්න මැණිකේ"
ඉස්කෝලේ පටන් අරන් ළමයින්ගෙ ගුමු ගුමුව ඈත හිටියත් ඇහුන නිකිණිගේ පපුව ගැහෙන වේගෙ වැඩි වුණා. නිකිණීගේ අතින් ඇදගෙන සියඹලා ගහ ගාවින් එන සිරියාවතීව දැකපු සෝමා ටීචර් අත වනල කතා කරා. ඒ අනුව සිරියාවතී කාර්යාල දිහාවට පය ඉක්මන් කරා.
මේ වෙනකොට සිරියාවතියගෙ හිත ශෝකෙන් වගේම කෝපෙනුත් බර වෙලා තිබ්බේ තිබ්බේ. ඉස්කෝලේ ගුරුවරු අම්මා තාත්තා නැති එකීට ඒ ගැනම මතක් කර කර වද දෙන එක සිරියාවතියට ඉවසන්න බැරි වුණා. "අද මේකට හොඳ දෙකක් කියන්න ඕන"කියලා හිතාගෙන සිරියාවතී කාමරේ ඇතුලට ගියා..
"ඉරයි හඳයි ඉල්ලන්නේ නෑ නේ.. නැති අම්මෙක් අප්පෙක් ඉල්ලලා ඇයි හැමදාම මේ හිඟන්නීව මරන් කන්න හදන්නේ?.."
හිතට ආව ආවේගෙත් එක්ක සිරියාවතී ලොකු සර්ගේ කකුල් දෙක අල්ලලා වඳින්න හැදුවා. ලොකු සර් පුටුවත් පෙරලගෙන නැගිටලා පැත්තකට වුණා.
" අම්මේ, මොකද මේ?"
ඇස් වල උණු වෙච්ච කඳුළු දිය ඇල්ලක් වගේ එක පෙලට කඩන් වැටුනා.
"සෝම ටීචර්, මේ ළමයව පන්තියට යවන්න. කලබල නොකර මේ අම්මත් දැන් ගෙදර යන්න"
ලොකු සර් සන්සුන් විදියට කිව්වා.
බිම බඩගාගෙන හිටපු ආච්චි අම්මව නැගිට්ටවන්න කාන්ති ටීචර් සිරියාවතීගේ අතින් අල්ලන්න සූදානම්වුණා.
"එපා නෝනා, මට ඇහැකි;.. නෝනලා අම්මෙක් අප්පෙක් නැති මගේ හිඟන්නව බලා ගන්න.."
සිරියාවතීගේ කතාවට කාර්යාලයේ හිටපු කාගෙත් ඇස් වලට කඳුලක් ඉනුවා.
කෙටිකතා ලේඛිකාව යෙත්මි නෙහාරා මොණරාගල දුටුගැමුණු ජාතික පාසල
වාර්තාකරණය: මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න මාධ්‍යවේදී යොහාන් රසිඳු
ඕනෑම අයකුට 2026 ජනවාරි මස 20 දිනට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක
සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව! ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන(Certificate in Introductory Media Communication Ethics) https://newsandimage.org/media-studies-training/
News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.
Comments (5)
Please log in to comment.
To comment, please sign in